Wednesday, December 19, 2012

සත්කුළු පවුව:











බූන්දි| බ්රහස්පතින්දා, දෙසැම්බර් 13, 2012| 22:17:37

යල - මහ දෙකම වී වැපිරුවෙ මනාවයි
ගොඩ - මඩ දෙකම සරු කෙරුවේ මනාවයි
කාපු බතට ණය ගෙව්වේ මනාවයි
එදා වපුළ කුඹුරේ රන් හිනාවයි

ඇල් හාලෙන් වී බිස්සක් පිරී ගියා
බැත යායෙන් යායට අස්වැදී ගියා
පාවර මනින දා හිත කිරි වැදී ගියා
මෙදා පාර සේරම හුළඟෙ ගියා

දහඩිය වපුළෙ කුල්ලෙන් රන් පොලන්නට
එනමුත් සිදු වුණේ කුඹුරෙම නහින්නට
දියවර සිදුණු දා මහකෙත් පාලුපිට
අපල උනිද පෙර කල පූරුවෙ පවට

ආණ්ඩුවෙන් ණය දෙනවලු පොළිය පිට
ඒක ගන්න පොර පිටියකි එතැන වට
මහත්වරුන් ලන ලන ඇම ගිලින කොට
ඉතින් හෙටක් වේවිද දුප්පත් අපිට

අපේ දුකට වැව් පතුලේ කඳුළු පිරී
වපුළ කුඹුර පිට කඳුලැලි උරා ගනී
දෝස මොටද පෙර පව් කළ නිසාවෙනී
මඟුල හෙටයි කවදාවත් නොඑනු වැනී

සියලු ලෝකයට අධිපති සූරිය දෙයියෝ
කෙතේ වපුළ බැත ගොයමට අධිපති දෙයියෝ
වැස්ස වළාහක දෙවියනි මේ දුක අයියෝ
වපුළ කෙතට විණ කෙටුවේ කවුදෝ දෙයියෝ

අහස් ගව්ව සිට බලනා ලොව නොවෙතී
කේතුමතී රජ දහනක් කෙතේ නැතී
කෙතේ වපුළ බිජුවට බොලේ සුළඟ ගතී
බැතේ ගොයම ගිණිදලු වී දැවී යතී

දැකැති මොටද පලබර නැති කුඹුරකට
කවිකම් මොටද වැහිබර නැති අහසකට
පාවර මොටද බොල් සුළඟට ගියදාට
අටුව මොටද වී නැත්නම් පිරෙන්නට 


Uditha Sameera Weerasinghe | උදිත සමීර වීරසිංහ


[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics